Saturday, September 9, 2023

ටිරාන්



ටිරාන්ලාගෙන් තිදෙනෙකුට ලැබුණු ඒ chance එක අපට නං 50%ක්වත් ලැබුණේ නැත. එහෙම කියන්නේ වැඩිහිටි කට්ටියට අදාළව හෙම නොවේ. තරුණ හා බාල පිරිසට අදාළවය. යොවුන් වියේ පසුවෙන දරුවන් කවුරුනුත් මේ සියවසේ අනෙත් දරුවන් වගේමය; ඔවුහු දවසෙන් වැඩි වෙලාවක් තාක්ෂණ මෙවලම්වල සිරකරුවන් වී සිටිති!

එයින් වැඩි දෙනෙක් අන්තරාවර්තීහු වෙති. ඇතුළටම නැඹුරු වුණු ස්වභාව ඇත්තෝ වෙති. එහෙව් උදවිය අලුතින් හිත-මිතුරු සබඳතා ගොඩ නඟාගන්නේ , හිතවත්කම් වගා-දිගා කර ගන්නේ ඉතා සීමිතව... හෙමි-හෙමින් බව මගේ දැනීමයි.

“දඹුල්ලේ බොජුන්හලේ කෑම හොඳයි. Choices ගොඩක් තියෙනවත් එක්ක...” ප්‍රියන්ත කිව්වේ උදේ නවයට විතර, jeep රථය එතැනට හරවමිනි. අන්න එතැනදී වාහනවලින් බිමට බැස්සාමය, එවර වස්ගමුවේ සංචාරයට යන අපි හැමෝටම එකිනෙකාව දැකගන්නට ඉඩ ලැබුණේ. ඒවාත් කෙටි බැලුම්වලට පමණක් සීමා කෙරුණේ, වැඩි දෙනෙකුගේම මුත්‍රාශයන් පිරිලා තිබුණු නිසා බව මගේ මතකයයි.
ඇයි, හිස්වී තිබුණු ආමාශයන්?

බොජුන්හලේ තිබුණු කෑම ජාති කන්දරාව නං ‘බඩගිනිකාරයන්ව’ අන්ද-මන්ද කරවන තරම් විශාලය.

‘මට ආප්ප / මට Egg Hoppers / මම නං රොටි- කට්ට සම්බෝලේ සැරයිද දන්නෑ / පිට්ටුත් තියෙනවා / ඇයි මෙයා Milk  Rice / කට්ලට්ස්... පැටිස්.../ පොඩි පුතාට ඉඳියාප්පද?’ විමසීම් ඉහවහා යන්නට; වැඩි වෙන්නට ගත්තාමය, ප්‍රියන්තටත්- ටිරාන්ටත් පිස්සු හැදුණේ. “ එක-එක්කෙනා ඇවිත් ඔයාලට කැමති දේවල් ඉල්ල ගන්න. Choices are yours!”

එකෙන්ම මගේ තෝරා ගැනීම වුණේ කිරිබත්ය. ඒ එක්කම තිබුණු ලුණුමිරිසේ සිනාවය- මාව ඒ තීරණය ගන්නට පෙළඹුවේ. ඒ plate එකත් අරගෙන, රවුම් කුඩයක් යටට ගිහිං වාඩි වුණාම තවත් කීප දෙනෙක්ම එතැනට...
“මේ කට්ලටුත් රහයි” කට්ලට් බාගයකුත් මගේ පිඟානට. “නිමල් අයියේ, බිත්තර ආප්ප කෑල්ලකුත් කමු. මම තව එකක් ගෙනත් දෙන්නද?” බාගෙ-බාගේ කෑවත්, කෑල්ල-කෑල්ල කෑවත් යන්නෙ එකම බඩට නෙව... ඒ අස්සේ දහනායක, හරිශ් හිතවතුනුත් ‘තව මොනව හරි ගෙනත් දෙන්න’ සූදානමිනි.

“නිමල් අංකල්, Fruit ජූස්ද, දිවුල් කිරිද... මම ගෙනත් දෙන්නං.” සෙරානුත් අහන්නේ මං වහන්සේ ඉස්මුරුත්තා වෙන්නට ඔන්න- මෙන්න විත්තිය නොදැනය; ප්ලේන් ටී එකකට විතරක් බඩේ ඉඩ තියාගෙන ඉන්නා විත්තිය නොදැනය.

No comments:

Post a Comment